2011-06-01

සසර දුකෙන් එතෙර වෙන්න මට.... දහම් දෙසාපන් අම්මෙ...

                            සමහරු සසර කලකිරිල මහණ වෙනවා..තවත් සමහරු කරන්න දෙකක් නැතිව මහණ වෙනවා. තවත්සමහරු කන්න බොන්න විදියක් නැති නිසා තමන්ගෙ බඩ වියත රැකගන්න මහණ වෙනවා.. සමහර හාමුදුරුවෝ තමන්ට ගෝලයන් නැති නිසා කවුරුහරු නෑදෑවෙන කෙනෙක් මහණ කරගන්නවා..ඒ ඉතිං පන්සලේ දේපල පිට යනවටනෙ......තවත්සමහරු "අම්මට හුඩු පන්සල්වල තියෙන සැප.. කාල බීල නිකන් ඉන්නෙ තියෙන්නෙ" කියල සැප විදින්න මහණ වෙනවා....ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ..

                           බුදුහාමුදුරුවො සසර දුකින් එතෙරවෙන්න පෘතග්ජනායාට ඒ මග කියාදෙන්න සාසනේ පිහිටෙවුවාට හැමදේම තාවකාලිකයි කියන සම්බුද්ධ දෙශාවම සත්‍ය කරමින් සම්බුද්ද සාසනෙත් ටිකෙන් ටික පරිහානියට පත්වෙලා....කාටවත් ඕක නෑ කියන්නනම් බෑ.....
                                            
                           දැන් ඉතිං ඔය එක එක හේතු නිසා සාසනේට ඇතුල්වෙන අයගෙ ඔය හේතු පිටිපස්සෙ තියෙන සමහර කතා දිහා බැලුවහම ඔය හේතු සාදාරණද නැද්ද කියලත් වෙලාවකට හිතෙනවා...මට මොකටද හාමුදුරුවො සාසනේට ඇතුල් උන හේතුව..පන්සලට ගියා.. කියලදෙන බණපදයක් අහගත්තා..වදිනවනම් වැන්ද... ආව එච්චරයි.......වෙලාවකට එහෙම හිතුනත් වෙලාවකට... අනේ මම දන්නෑ..

                            මාරයාගෙ පන්සල් ජීවිතය කියවගෙන යද්දි එක්තරා පන්සලක පොඩි හාමුදුරුනමක් කියපු ඔයවගේ සිද්දියක් මතක් වෙලා කුරුටුගාල මූනූ පොතේ ටික කාලෙකට කලින් දාල තිබුන වචන ටිකකට අද කවුදෝ ආයෙ කමෙන්ට් එකක් දාල ගිහින් ....

                          ඉතිං මට හිතුනා ඒක බ්ලොග් එකෙත් දාන්න..අර කවුදෝ දාපු කමෙන්ට් එක නෙවෙයි... මම කුරුටුගාපු වචන ටික


                          

                           මේ වැලි මලුවෙ වැලි කැටයක් ගානට
                           මම අඩන්න ඇති අම්මෙ...
                           මේ වැලි මලුවෙ වැලි කැටයක් ගානට
                           මම උඹට අඩගහන්න ඇති අම්මෙ..
                           අතින් අල්ලගෙන උඹ මාව ,
                           පන්සලට එක්කගෙන එන කොට
                           මේ වැලි මලුවෙම මම පෙරලුනා
                           උඹට මතකද අම්මෙ..
                           ලොකු හාමුදුරුවන්ට මාව බාරදීල
                           උඹ ගිය වෙලාවෙත්
                           මේ වැලි මලුවෙම මම
                           පෙරලිලා ඇඩුව අම්මෙ..
                           අවජාතකය කියල,
                           ගමේ එවුන් කියපු වචනේ තේරුම
                           ගල් කඩල මහන්සියට පිලේ
                           ඇලවෙලා උන්න උඹෙන් මම ඇහුවාම
                           උඹ වචනයක්වත් මට
                           කිවුවෙ නෑ අම්මෙ...
                           ඒ වෙනුවට උඹ චීත්තෙන්
                           කදුලු පිහිදුවා මට මතකයි අම්මෙ...
                           බුදුහාමුදුරුවන්ගෙ ඇගිල්ලෙ එල්ලිලා
                           ගිය රාහුල කුමාරය
                           මහණ කරාම,
                           දෙමාපියන්ගෙ කැමැත්ත නැතිව
                           මහණ කරන්න එපා කියල
                           සුද්දෝදන රජතුමාගෙ ඉල්ලීම
                           බුදුහාමුදුරුවො පිලිගත්ත කියල
                           ලොකු හාමුදුරුවො අපට ඉගැන්නුව අම්මෙ....
                           දෙමාපියන්ගෙ කැමත්ත විතරද ඕනෙ
                           මහණ වෙන්න තමන්ගෙ කැමැත්ත ඕනෙ නැද්ද
                           මේ වැලි මලුවෙදිම
                           මම ලොකු හාමුදුරුවන්ගෙන් ඇහුව අම්මෙ..
                           උන්වහන්සෙ මගේ ඔලුව අතගෑව
                           උඹ වගේම උත්තරයක් දුන්නෙ නෑ අම්මෙ...
                                     ඒත්.................
අවුරුදු ගානක් මේ වැලි මලුව අමදිද්දි.....
මේ වැලි කැට ගානට උඹ නොදැක කදුලු වැටෙද්දි.......
ඒ හැම ප්‍රස්නෙකටම උත්තරේ
මේ වැලි මලුව මට කියාදුන්න අම්මෙ......
අදත් මේ වැලි මලුව ඇමදලා
මේ වැලි මලුවටම වෙලා
මම එක දෙයක් ඉල්ලනව අම්මෙ.......
උඹ මතු බුදු උනාම
මේ වාගේම වැලි මලුවක

සසර දුකෙන් එතෙර වෙන්න
මට........
දහම් දෙසාපන් අම්මෙ......
                                        


ප.ව  :-  

         
නදීගෙ කමෙන්ට් එක දැක්කාමයි මට මේ ටිකත් දාන්න හිතුනෙ......
මේ හාමුදුරුවොත් පොලොන්නරුව පැත්තෙ පන්සලක තමයි මහණ කරවල තියෙන්නෙ පොඩි හාමුදුරුවො කිවුවෙ පන්සලට පොඩි හාමුදුරුවො නිසා.. නැත්නම් මටත් වඩා අවුරුදු  6ක්   විතර වැඩුමල්.. කතාව කිවුවෙ හාමුදුරුවො ඇස් දෙකේ කදුලු පුරවගෙන.. එතකන් කතාව කාටවත් කියල නෑ...කතාව කියල ඉවර වෙලා මගේ අම්ම බුදු වෙන්න ඕනෙ කියල අත් දෙක එකතු කරල අහසට වැන්දා...
 

9 comments:

  1. මම් දන්න පිරිවෙනක පොඩි හාමුදුරුවො කෙනෙක් ඉන්නව රාහුල කියල,අවුරුදු 7ක් විතර,පන්සලට බාරදීල තියෙන්නෙ මාමා,අර කොටිගහන කාලෙ පොඩිසාදුගෙ අම්මයි තාත්තයි කොටි කපල මරල,එයා ගැංගිලා බලාගන ඉදලා.වාසනාවට එයාගේ ජීවිතේ බේරිලා.ඒ කම්පනය නිසාද මන්ද වැඩිය කතාබහ නැ.

    ReplyDelete
  2. මලය කුරුටු ගාල තියෙන වචන ටිකනම් මාරයි...

    ReplyDelete
  3. @ නදී:- කමෙන්ට් එක දැක්කාම දාන්න ඕනෙමයි කියල හිතුන දෙයක් මම ආයෙ පෝස්ට් එකේ දැම්මා.. ඇත්තටම ඔයවගේ දේවල් කොච්චර වෙනව ඇද්ද අපේ රටේ....

    @ සාතන් :- ස්තූතියි අයියෙ.. වචන ටික මාර වෙන්න ඇත්තෙ එවෙලාවෙ මට දැනුන හැගීම මාර නිසා වෙන්න ඇති... මේක ලියනකොට මගේ ඇස් දෙකෙනුත් කදුලු වැටුනා....

    ReplyDelete
  4. Machan, post ek maru, eth uba mage photo ekak mage namawath natuwa dapu eka tamai duka, photo eka kohenda gatte??
    https://www.facebook.com/mpmidesilva

    ReplyDelete
  5. Photos gannawanam ewa uputa ganimak bawa dakwema tamai honda ................ !!!

    ReplyDelete
  6. ඔවු... මම ඒක දැනගෙන ඉදියෙ නෑ ගූගල් එකෙන් සර්ච් කරලයි ගත්තෙ... අනිත්දවසෙ එහෙම කරන්නම්...

    ReplyDelete
  7. බොරු නෙමෙයි, මේක කියවනකොට මගේ ඇස් දෙකෙන් කඳුළු ආවෙ නැහැ, බොඳ උනා...

    ReplyDelete
  8. හිතට වදින නිසදැසක්. හොඳට කරගෙන යන්න ජය වේවා..!!

    ReplyDelete
  9. අනේ මටත් ම්ශණ වෙන්න ඕනා මට ඕනේ මේ සසරෙන් එතෙර වෙන්න මට උදව කරන්න මෙහෙණි ආරාමයකහොයලා දෙන්න ලොකු පිනක්

    ReplyDelete